Thursday, October 12, 2017

කලාව කොයින් කොයිබට ද?



කලාව කොයින් කොයිබට ද?
මා ඉදිරියේ පවතින්නේ ද කලාව ය. මා ජිවත් වන්නේ ද කලාව තුළ ය. විටෙක එය ඔබත් අදහන පොදු දහමකි. කලාව සරලවම ගතහොත් යම් කෘත්‍රිම ප්‍රපංචයකි . මන්දයත් එය මිනිසුන්ගේ ආකල්ප ප්‍රමුඛයෙන් නිර්මාණය වුවක් මිසක ඉබේ පහල වුවක් නොව. කලාව යන්න කෙසේ නිර්මාණය වුවක් වුවත් එය අපුර්ව දෙයකි. කලාව ඉදිරිපත් කරන්නන් කලාකරුවන් ය. එහෙත් කලාකරුවන් කලාවේ නිර්මාපකයන් යන නිගමනයට නොබට යුතුය. මන්ද යත් ඇතැම් කලාකරුවන් කලාවේ පුරුක් විය හැකි බැවිනි. එහෙත් සියලුම කලාකරුවන් කෙරෙහි අපි ගෞරව පුර්වක වෙමු. කලාව යන්න විවිධ නිර්ණායක නිසා වෙනස් වීමට හැකියාව පවතින්නකි. එය ඒක දේශික නොවේ. ඒක පාර්ශවියත් නොවේ .සිතුම් පැතුම් අනුව කලාව වෙනස් විය හැක. පුනරුද යුගයේදී පැවති උච්ච කලා ඉසව්ව සීමා වූයේ බුද්ධිමතුන් ප්‍රිය කරන්න වූ කලාවක් ලෙසයි. ශේක්ස්පියර්, බිතෝවන් වැනි නිර්මාපකයින් ගේ කලාකෘති එම යුගයෙහි විශේෂයන්ය. කලාව යන්න සීමා නොකළ යුතුය. හැරල්ඩ් බ්ලුම්, රොබට් හයිසන් වැනි ප්‍රාඥයන් ප්‍රවිෂ්ඨ කලා ලේඛකයින්ය. ඔවුන්ගේ නිර්මාණයන්ගෙන් පහල පංතියේහිලා ගැනෙන ජනතාවටද රසයක් ලැබුනා නම් වඩාත් යහපත් යැයි විටෙක සිතේ.

    සත්ත්වයින් වනාහි නිර්මාණාත්මක ගුණයෙන් යුත් කොට්ඨාශයක් වන අතර ඔවුන් නිර්මාණාත්මක වීමට බලපාන සාධක ගණනාවක් අතර බුද්ධිය ප්‍රමුඛ වේ. බුද්ධිමය චින්තනය යන්න ද වරෙක යම් කලාවකි. කුමක්ද කලාව නමින් හඳුන්වනුයේ? කලාවෙන් කරනුයේ කුමක් ද? කලාව කුමක් සඳහා පවතින්නේ ද?කලාව බුද්ධිමය ක්‍රියාවලියක ප්‍රතිඵලයක්ද නැතිනම් විකාරයක්ද? කලාවට සීමා පවතීද? එසේ නම් එම සීමා මොනවා ද?මෙලෙස නොයෙක් ගැටළු අප සිත් තුළ ජනිත වීම සාමාන්‍ය යි. සිතට නැගෙන මිහිරි අමිහිරි සිතිවිලි මෙන්ම අත්දැකීමට ලක්වන නොයෙක් දෑ මිනිසා විසින් ප්‍රතිනිර්මාණයට යන ගමන් මගේ එක තැනකදී කලාව උපදී. මුතු බෙල්ලෙකුගේ මාංශ අතර සැඟවුණු වැලි කැටයේ වේදනාව මුතු උපද්දවයි. මනෝභාවයන් කම්පනය වීමෙන් හටගන්නා සිතිවිලි කුමන හෝ මාධ්‍යක් ඔස්සේ ජනතාව අතරට ගමන් ගනී.ඒ කලාවෙන් සහෘදයාන් ප්‍රකම්පනය වේ. ඇතැම් විට එම මාධ්‍ය ගීත මාධ්‍යක්,කවි නිර්මාණයක්, ගෘහ නිර්මාණයක්, ආදී එකී මෙකි නොකී අපුර්ව දෙයක් විය හැක.

    මානව පරිණාමයේ එදා මෙදා තුළ නොයෙක් නිර්මාණ බිහි වි ඇත. එම නිර්මාණවලට අරමුණු ඇත. අරමුණු සැපත් කරගැනීමට ගොඩ නැගු නිර්මාණ වල සාර්ථක අසාර්ථකභාවයන් විමර්ශනයට විචාරය, රසාස්වාදය බිහි වි ඇත.මේ සියල්ලම දාමයක් ලෙස එකිනෙකට  බැඳී පවතී. රෝදය බිහිකරගත් ආදී මානවයා එය ප්‍රවාහන මාධ්‍යක් තත්වයට දියුණු කළහ. එය ද කලාවකි. කලාව යනු විද්‍යාවෙන් තොර වුවක් නොව. පටු වුවක් ද නොව.කලාකරු දුම්රියේ ගමන්ගත යුත්තේ තුන්වන පංතියේය යන්න සාමාන්‍ය කියමනකින් එහා ගිය විශේෂ කියමනකි. මෙය කලාකරුවාගේ මග යහපත් කිරීමට කියූ දෙයක් ලෙස හැගෙන තරමටම සංවේදී කියමනකි. කලාවට සීමාවක් නොමැත. සීමා දැමීම ද ඵලක් නොවන දෙයකි. කලාකරුවන් සිය ගමන් මග සකසාගෙන අහිංසක කලාකාමී ජනතාව මුලා නොකරනවා නම් කෙතරම් යහපත්ද? කලාව මානසික තෘප්තිය උදෙසා අරඹන බොහෝ දෙන අවසානයේ මුදල් මත කලාව රඳවන තත්වයකට පත්ව ඇත. මෙයට වගකිවයුත්තේ කලාකරුවන් පමණක් නොවේ. සමස්ත ජන සමාජයම මීට වග කිව යුතුය. වාණිජවාදී සමාජයක කලාකරුද අසරණ වී ඇති බවක්  විටෙක හැගේ.
කලාව සම්බන්ධ සතුටු දායක ප්‍රවණතාවයක් ද පවතින බව පෙන්වා දිය යුතුය. සමාජ වෙබ් අඩවි හරහා  නිර්මාණ එළිදැක්වීම නව පරපුරට පිබිදීමකි. ජනප්‍රිය මාධ්‍ය භාවිත නොකිරීම නොකළ යුතුය. කලාවට පණ දෙන්නට පවතින සම්පත් උපරිම ප්‍රමාණවත් නොවන නමුත් එහි පිබිදීම යෞවනයෙන් අරඹන්නට හැකි නොවේ ද? කලාවට පණ දෙමු. හැකිවේවි දිනෙක සතුටුවන්නට කලාවේ පරම පිවිතුරු අර්ථය වටහාගෙන.
                                                                                                 -අනුරුද්ධ සේනාධිලංකාර-

No comments:

Post a Comment

ලස්සනට ඉන්න

 කාලය සමඟ මිනිසා පරිනත වන්නේය. එසේම මිනිසා දුර්වල වන්නේය. කාලයට ඉඩ දී බලා සිටීම අප බොහෝ දෙනෙකුගේ පුරුද්දක් ය. එය කාලාන්තරයක් තිස්සේ පවත්වාගෙ...